පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

பாராளுமன்றத்தின் சபை முதல்வரின் அலுவலகத்தின்

OFFICE OF THE LEADER OF THE HOUSE OF PARLIAMENT

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායකතුමා

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ වැඩකටයුතු තීරණය කිරීම පැවරී ඇත්තේ ආණ්ඩුවේ මෙන්ම පාර්ලිමේන්තුවේද ප්‍ර‍මුඛ පුද්ගලයෙකු වන පාර්ලිමේන්තුවේ සභානායකවරයා වෙත ය. සභාව තුළ ආණ්ඩුවේ වැඩකටයුතු, විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකයේ වැඩසටහන පිළියෙල කිරීම ඔහු සතු රාජකාරිය වේ. හෙතෙම ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයෙක් ද වේ. කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සභානායක ලෙස කරනුයේ අග්‍රාමාත්‍යවරයා ය. එම පත්කිරීම කථානායකවරයාට දැනුම් දෙන අතර කථානායකවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විධිමත් නිවේදනයක් ප්‍ර‍කාශයට පත් කරයි.

සභානායකවරයාගේ වැදගත්කම රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලදී ඔහු ඇති කරන බලපෑම මතය. සිදුකළ යුතු ආණ්ඩුවේ වැඩ කටයුතු සඳහා දින යෝජනා කර එවැනි වැඩ කටයුතු වල ප්‍ර‍මුඛතාව ලැබිය යුතු කරුණු තීරණය කරන්නේ ඔහුය.

පාර්ලිමේන්තු කටයුුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු වන සභානායකවරයා එහිදී පාර්ලිමේන්තුව රැස්වන සතියේ තාවකාලික වැඩසටහන ද යෝජනා කරයි. එක් එක් මාසයේ පළමු රැස්වීම් සතියේ සිකුරාදා දින රැස්වීමේදී හැර අනෙකුත් හැම රැස්වීම් දිනකම ආණ්ඩුවේ වැඩකටයුතු ප්‍ර‍මුඛස්ථානය ගනී. රැස්වීම් පැවැත්වෙන සතියේ තාවකාලික වැඩසටහන සභානායකවරයා විසින් පිළියෙල කරනු ලැබීමෙන් පසු කථානායකවරයා මුලාසනය දරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඔහු එය එකඟත්වය සඳහා දැනුම් දෙයි. ඒ සඳහා එකඟත්වය පළවු පසු එම වැඩසටහන ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සංවිධායකවරුන් තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට කල් තබා දැනුම් දේ.

එක් එක් දින සභාවේ කටයුතු ආරම්භයේදී පටිපාටිය සම්බන්ධ යෝජනා, සභාව කල්තැබීමේ යෝජනා සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ ඔහුය. පාර්ලිමේන්තුවේ බෙහෙවින් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හෙතෙම සභාවේ පරිචය හා ක්‍රියා පටිපාටිය පිළිබඳ මනා දැනුමක් ඇත්තෙකි. ආණ්ඩුව වෙනුවෙන් කථානායකතුමාට උපදෙස් දීම සඳහා ඔහු සැමවිටම සුදානමින් සිටි. සභාව රැස්වන හැම අවස්ථාවකදී ම සහ විශේෂයෙන්ම වාචික ප්‍ර‍ශ්න ඇසීමේ අවස්ථාවේදී, ඔහු සාමාන්‍යයෙන් සභා ගර්භය තුළ සිටින අතර සිය මෙහෙයවීමෙන් සභාව ඇමතීමේ අයිතිය භුක්ති විඳියි. සම්ප්‍ර‍දායක් වශයෙන්, යම් කරුණක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම දෙපාර්ශවයෙන්ම ප්‍ර‍බල ආකාරයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ බලපෑමක් එල්ල වන අවස්ථාවකදී සාමාන්‍යයෙන් සභානායකවරයාගේ අදහස් විමසීම සිදුවේ. සිය එදිනෙදා රාජකාරි කටයුතු වලදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා මුළු සභාවේම ප්‍ර‍කාශකයා මෙන්ම නියෝජිතයා ද වේ.

හෙතෙම පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය සම්බන්ධ කරන තැනැත්තා වන හෙයින් පාර්ලිමේන්තුවේ අවධානය ප්‍ර‍බල ලෙස යොමු වී ඇති කරුණු කෙරෙහි නිරතුරු අවධානයෙන් සිට අදාළ සියළුම කරුණු ආණ්ඩුවට වාර්තා කළයුත්තේ ඔහුය.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේද සාමාජිකයකු වන ඔහු සියළුම කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නම් කරයි. එසේම විදේශීය රටවල පැවැත්වෙන විවිධ පාර්ලිමේන්තු සම්මන්ත්‍ර‍ණ, සංචාර ආදීය සඳහා සහභාගී වන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නම් කිරීම ද සිදු කරයි.

හෙතෙම ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ද නිල බලයෙන් සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විශිෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්භාවනීය තනතුර දරා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා අග්‍රාමාත්‍ය තනතුරද හෙබවුහ.

වර්තමාන සභනායකතුමා

අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා 2022 ජූලි මස 27 වන දින සිට පාර්ලිමේන්තුවේ සභානායක තනතුරේ රාජකාරි සිදු කරනු ලබයි.

සභානායකවරයා යනු රජයේත්, පාර්ලිමේන්තුව තුළත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු තැනැත්තෙකි. එතුමා සභාව තුළ රජයේ කටයුතු සංවිධානය කිරීම, විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක වැඩසටහන සකස් කිරීම කරනු ලබන්නේ එතුමා විසිනි. පාර්ලිමේන්තුව හා අමාත්‍ය මණ්ඩලය අතර සබඳතාවය ගොඩ නගනු ලබන්නේ සභානායකවරයා විසින් වන බැවින් පාර්ලිමේන්තුව තුළ සිදු කෙරෙන සියලු ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වී අදාළ කරුණු කාරණා රජයට වාර්තා කිරීම එතුමා සතු වගකීමක් වෙයි.

Hon. Susil Premajayantha

වර්තමාන සභානායක ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා

1955 ජනවාරි මස 10 වන දින උපත ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. 1982 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ එතුමා 1985 වසරේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු වශයෙන් කටයුතු කරනු ලබයි. ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද සම්පූර්ණ කර ඇත.

තවද 2007 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාල රාජ්‍ය තාන්ත්‍රික පරිපාලනය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති එතුමා, ප්‍රංශයේ හොරයිසන් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳව ආචාර්ය උපාධියක්ද ලබා ඇත.

ගරු ප්‍රේමජයන්ත මැතිතුමා 1991 වසරේ ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්ව එම නගර සභාවේ උප සභාපතිවරයා ලෙසින් කටයුතු කරමින් සිය දේශපාලන ගමන ආරම්භ කළේය. එතුමා 1995 දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් වී 2000 වසර තෙක් එම ධුරය හෙබවීය.

2000 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එතැන් සිට අඛණ්ඩව පාර්ලිමේන්තුවේ රැඳී සිටියි. මෙම දීර්ඝ පාර්ලිමේන්තු නියෝජනය තුළ එතුමන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, විදුලිබල හා බලශක්ති, ඛනිජ තෙල් කර්මාන්ත, පරිසර හා පුනර්ජනනීය බලශක්ති, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශවල කැබිනට් අමාත්‍ය ධුරයන් හෙබවූ අතර වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනුු ලබයි.

එමෙන්ම එතුමා දීර්ඝ කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) මහලේකම්වරයාද ලෙස කටයුතු කරන ලදි.

ජාත්‍යන්තර තලයේ කර්තව්‍ය රැසකට උරදුන් ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා 2007 දී යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත් වූ අතර යුනෙස්කෝ 2005-2010 සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිසමේ සභාපති, ශ්‍රී ලංකා රුසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති සහ ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති යන ධුරයන් හෙබවීය.

තවද එතුමා 2016 අප්‍රේල් 22 වන දින නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී දේශගුණික විපර්යාස සඳහා වූ පැරිස් ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය අත්සන තැබීය. ඔහු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ බොහෝ ජාත්‍යන්තර සංසදවලට සහභාගී වී ඇත.

ඡායාරූපය නම කාලවකවානුව සහ පාර්ලිමේන්තුව
ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා
2022 ජූලි 22 සිට
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
2020 අගෝස්තු 20 – 2022 ජුලි 20 (නවවන පාර්ලිමේන්තුව)
2020 ජනවාරි 03 – 2020 මාර්තු 02 (අටවන පාර්ලිමේන්තුව) දින 52
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
2020 සැප්තැම්බර් 01 – 2018 ඔක්තෝබර් 26 2018 දෙසැම්බර් 18 – 2020 ජනවාරි 02 (අටවැනි පාර්ලිමේන්තුව)
2015 ජනවාරි 20 – 2015 ජුනි 26 (හත්වැනි පාර්ලිමේන්තුව)
ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමා
2010 මැයි 02 – 2015 ජනවාරි 20 (හත්වැනි පාර්ලිමේන්තුව)
2005 අගෝස්තු 09 – 2010 පෙබරවාරි 09 2010 මාර්තු 09- 2010 අප්‍රේල් 20 (හයවැනි පාර්ලිමේන්තුව)
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
2004 මැයි 03 – 2005 අගෝස්තු 09 (හයවැනි පාර්ලිමේන්තුව)
ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා
2002 ජනවාරි 03 – 2004 පෙබරවාරි 07
(පස්වන පාර්ලිමේන්තුව)
ගරු රිචර්ඩ් පතිරණ මැතිතුමා
2000 ඔක්තෝබර් 18 – 2001 ඔක්තෝබර් 10
(හතරවැනි පාර්ලිමේන්තුව)
ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා
1994 අගෝස්තු 25 – 2000 අගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 – 2000 ඔක්තෝබර් 10
(තුන්වන පාර්ලිමේන්තුව)
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
1989 මාර්තු 06 – 1993 මැයි 07 (දෙවැනි පාර්ලිමේන්තුව)
ගරු විජයපාල මෙන්ඩිස් මැතිතුමා
1993 මැයි 07 – 1994 ජුනි 24 (දෙවැනි පාර්ලිමේන්තුව)
ගරු රණසිංහ ‌ප්‍රේමදාස මැතිතුමා
1977 ජූලි 26 - 1988 ‌දෙසැම්බර් 20 (දෙවන ජාතික රාජ්‍ය සභාව සහ ප්‍රථම පාර්ලිමේන්තුව)
ගරු මෛත්‍රපාල සේනානායක මැතිතුමා
1970 ජුනි 07 - 1977 මැයි 18 සත්වන පාර්ලිමේන්තුව( නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ ප්‍රථම ජාතික රාජ්‍ය සභාව
ගරු සී.පී. ද සිල්වා මැතිතුමා
1965 අ‌ප්‍රේල් 05 - 1970 මාර්තු 25 සයවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
1960 අගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17 පස්වන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
1956 අප්‍රේල් 19 -1959 දෙසැම්බර් 05 තුන්වන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩල
ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා
1960 මාර්තු 30 – 1960 අප්‍රේල් 23 සිව්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
1953 ඔක්තෝබර් 29- 1956 පෙබරවාරි 18 දෙවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ගරු ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා
1951 ජුලි 12 – 1952 අප්‍රේ 08 (ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
1952 ජූනි 19 -1953 ඔක් 12
ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා
1947 සැප් 26– 1951 ජුලි 12 (ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ගරු ඩී.එස්.සේනානායක මැතිතුමා
1942 දෙසැ 02 – 1947 ජූලි 04 (ප්‍රථම හා දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව)
ගරු ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා
1931 ජූලි 10 – 1942 නොවැ 30 ( ප්‍රථම හා දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව)